Saturday 10 November 2012

Rev. Mirahawatte Jinarathna Thero

"ධර්ම කිර්ති ශ්‍රී සරණපාල සුමංගල", කර්මාචාර්ය,
ගරු මිරහාවත්තේ ශ්‍රී ජිනරතානාභිධාන,
ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක,
අතිගෞරව නායක හිමියන්ගේ චරිතය

"ධර්ම කිර්ති ශ්‍රී සරණපාල සුමංගල", කර්මාචාර්ය,
ගරු මිරහාවත්තේ ශ්‍රී ජිනරතානාභිධාන,
ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක,
අතිගෞරව නායක හිමිපානෝ
ගරු මිරහාවත්තේ ශ්‍රී ජිනරතන නායක ස්වාමින් වහන්සේ; බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මිරහාවත්ත නම් ගමේදී 1924 අගෝස්තු මස 13 වන දින උපත ලබා ඇත්තේ, මිරහාවත්ත නාරම්මුල්ලේ ගෙදර පදිංචිව සිටි ඩබ්ලිව්. එම්. පුංචිබණ්ඩා සහ එන්. එම්. උක්කුමැණිකේ යන දෙදෙනාගේ තුන්වන දරුවා ලෙසයි.

මිරහාවත්තේ මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසු කන්දේගෙදර දේවානන්ද ස්වාමින් වහන්සේගෙන් මුලීක අකුරු ශාස්ත්‍රය ඉගෙන ගත් ඩබිලිව්. එම්. විජේරත්න නම් මෙම කුඩා දරුවා; කන්දේගෙදර දේවානන්ද ස්වාමින් වහන්සේ සමග හීල්ඔය ශ්‍රී සුමංගල පුරාණ විහාරස්ථානයට පැමිණ, එවකට විහාරාධිපතිව වැඩ විසු ගරු හීල්ඔය සුමංගල ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ, 1939 ජුනි මස 01 දින මිරහාවත්තේ ජිනරතන හිමියන් වශයෙන් උතුම්වු පැවිදි බව ලැබීය.

ඉන් පසු මිරහාවත්තේ ජිනරතන සාමනේරයන් වහන්සේ දියතලාවේ ශ්‍රී සුධර්මාලංකාර පිරිවෙනින් අධ්‍යපනය ලැබීය.


1944 ජුනි 02 දින මහනුවර පුෂ්පාරාම විහාරස්ථානයේ උපෝසතාගාරයේදී උපසම්පදාව ලැබීය. ඉන් පසු ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ දියතලාවේ ශ්‍රී සුධර්මාලංකාර පිරිවෙනෙහි රාජකීය පණ්ඩිත උපාධිය 11 වසර සමත්ව එහිම ටික කලක් සේවය කලේය. ඒ කාල වකවානුවේදී ගරු හීල්ඔය සුමංගල ස්වාමින් වහන්සේගේ රෝගාබාදයන් හේතුවෙන් ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ දියතලාවේ ශ්‍රී සුධර්මාලංකාර පිරිවෙනෙහි ධර්මාචාර්ය පදවියට සමුදී හීල්ඔය පුරාණ විහාරස්ථානයේ දායක දායිකාවන් වෙනුවෙන් සේවය සදහා කැපවිය.


හීල්ඔය සුමංගල ස්වාමින් වහන්සේගේන් පසුව ඇත්තලගෙදර ගුණරතන ස්වාමින් වහන්සේ හීල්ඔය පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වු අතර එම හිමියන්ගේ (ඇත්තල ගෙදර ගුණරතන ස්වාමින් වහන්සේගේ) අපවත් වීමෙන් පසු 1970 වර්ෂයේදී ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ හීල්ඔය පුරාණ විහාරස්ථානයේ නායක පදවියට පත්විය.

ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ,
* 1986 වර්ෂයේදී බදුලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක  පදවියට පත් කරනු ලැබුහ.

* 1991 වර්ෂයේදී කර්මාචාර්ය පදවියට පත් කරනු ලැබුහ.

* 2002 වර්ෂයේදී "ධර්ම කිර්ති ශ්‍රී සරණපාල සුමංගල" යන ගෞරව නාමය සමග ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප සංඝ නායක පදවිය ලැබුහ.

* 2004 වර්ෂයේදී "ධර්ම කිර්ති ශ්‍රී සරණපාල සුමංගල" යන ගෞරව නාමය සහිතව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය ලැබුහ.

(මෙම පදවියන් සියල්ලම මහා විහාර වාංශික ශ්‍යමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත්ය.)

ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ 2011 සැප්තැම්බර් මස 15 දින හවස් භාගයේ සුළු අසනීපයකින් අපවත් වුයේ අවුරුදු 87 ක් ආයු වලදායි.




No comments:

Post a Comment