Thursday 29 November 2012

Dematamal Viharaya - Okkampitiya

ඓතිහාසික දෙමටමල් විහාරය
 - ඔක්කම්පිටිය

ප්‍රතිසංස්කරණය කර ඇති
චෛත්‍යයය
ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ඔක්කම්පිටියේය. බුත්තල මං සන්දියේ සිට කතරගම දෙසට ඇති මාර්ගයේ මීටර් 15 ක් පමණ ගිය විට හමු වන හන්දියෙන් වමට ඇති මාර්ගයේ (බුත්තල - ඔක්කම්පිටිය මාර්ගය) කිලෝමීටර් 6 ක් පමණ ගිය විට හමු වන හෙලගම නම් වු ස්ථානයේ පිහිටා තිබේ. මනරම් වු කදු ගැට වලින් වටවු කුඹුරු යායක් මධ්‍යයේ මෙම ‍ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය පිහිටා ඇත.

චෛත්‍යයේ
 යූප කණුව
දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රිස්තු පුර්ව 307-267) දෙවන මල්ලී වු මහානාග කුමරු විසින් මෙම ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය ඉදි කර ඇති බව ඉතිහාසය කියාපායි. එනම් දෙටුමල්ගේ විහාරස්ථානය > දෙමටමල් විහාරස්ථානයයි.

දෙමටමල් විහාරස්ථානයේදී සිදුවු ඉතිහාස ගත විශේෂ සිදුවීමක් වුයේ; යුදගනාවේදී දුටුගැමුණු කුමාරයා සහ තම මල්ලී වු සද්ධාතිස්ස කුමරු අතර දරුණු සටන් ඇතිවුහ. ඉන් පසු බැස්ස සද්ධාතිස්ස කුමරු දුටුගැමුණු කුමාරයාට බියෙන් මෙම ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයෙහි සැගවුණු බව ඉතිහාසයේ සදහන්ය. මෙසේ මෙම දෙදෙනා යුධ වැදිමට හේතු වුයේ කාවන්තිස්ස රජුගේ මරණින් පසු රජකම උරුමව තිබුණේ දුටුගැමුණු කුමාරයාටයි. එහෙත්. කාවන්තිස්ස රජු මිය යන විට, දුටුගැමුණු කුමාරයා ජිවත් වුයේ කොත්මලය ප්‍රදේශයේය. සද්ධාතිස්ස කුමරු කාවන්තිස්ස රජුගේ මරණින් පසු විහාර මහා දේවිය සහ කඩොල් ඇතු තමා සන්තකයට ගෙන තිබීමයි.

උස් වේදිකාවක්
මත චෛත්‍යයය
ඉදි කර ඇති ආකාරය
පළමු යුද්ධයෙන් දුටුගැමුණු කුමරු පැරදි පලා ගියත් දෙවන යුද්ධයෙන් සද්ධාතිස්ස කුමරු පැරදී දුටුගැමුණු කුමරුට බියෙන් දෙමටමල් විහාරස්ථානයට පැමිණ සද්ධාතිස්ස කුමරු එහි ඇදක් යට සැගවිනි. සද්ධාතිස්ස කුමරු සොයා යන දුටුගැමුණු කුමාරයා මේ, දෙමටමල් විහාරස්ථානයට පැමිණ සද්ධාතිස්ස කුමරු  එහි ඇතැයි යන සැකයෙන් එහි භික්ෂුන් වහන්සේගෙන් සද්ධාතිස්ස ඉන්නවාදැයි ඇසිය. එවිට එහි භික්ෂුන් වහන්සේ දුන් පිළිතුර වුයේ "රජතුමනි, සද්ධාතිස්ස කුමරු ඇදෙහි නැත" යන්නයි. 

පැරණි නටඹුන්
එම පිළිතුරෙන් සද්ධාතිස්ස කුමරු එහි ඇති බව දැන ගෙන දෙමටමල් විහාරය වටා රැකවල් තර කොට තමාද රැක ගෙන සිටියේය.

ටික වේලාවකින් සමනේර වරු හතරදෙනෙක් විසින් මියගිය හිමි නමක් ලෙසින් ඇදක් කර මත තබා සද්ධාතිස්ස කුමරු මෙම විහාරස්ථානයෙන් එලියට රැගෙන යන ලදි. පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙදෙනා සමදානයට පත් කරන ලදී.

ජෝඩු මුරගල
මෙම විහාරස්ථානයේ නටඹුන්ව තිබු චෛත්‍යය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1990 දී වන අතර, එම ප්‍රතිසංස්කරණයේදී චෛත්‍යයේ ඉහල යූප කණුව දැක බලා ගත හැකි ආකාරයට ප්‍රතිසංස්කරණය කර ඇත. දාගැබ් මලුවේ දාගැබ වටා අටපට්ටම් වන ලෙසට ගල් අතුරා ඇත. අවට භූමියට වඩා උස්වු මළුවක් නිර්මාණය කර ඒ මත චෛත්‍යය ඉදි කර ඇත. 

මෙම විහාරස්ථානයේ තිබු පරණි බෝධි ඝරයක් හමුවී එහි කැණීම් කටයුතු කරද්දී, විශාල ප්‍රමාණයේ මුට්ටියක් (පාත්තරයක්) එහි තිබි හමුවී ඇති අතර එම පාත්තරයට යටින් නිදන් වස්තු ලැබි තිබේ. මෙයින් පෙනෙන්නේ එහි නිදන් වස්තු තැම්පත් කර ඒ මත පාත්තරයේ රෝපිත බෝධියක්, පාත්තරය පිටින්ම එහි රෝපණය කර ඇති බවයි.

ජෝඩු මුරගල
විහාරස්ථාන‍ භූමියේ බෝධින් වහන්සේලා කිහිප නමකී. එසේම ගල් උළුවස්සක්ද විහාර භූමියේ දක්නට ලැබේ. පැරණි පොහෝය ගෙය මත ගොඩනැගිල්ලක් ඉදි කර ඇති අතර පැරණි ගල් කණු එලෙසම පවතියි. එසේම උඩු මහලකට යාම සදහා යොදාගත් තරප්පු පේලියක් අදත් දක්නට ලැබේ. මෙම පැරණි උපෝසථාගාරයේ උඩු මහලේ එක් වකවානුවකදී දන්ත ධාතුන් වහන්සේ මෙහි තැම්පත් කර තිබු බව පැවසේ ( මේ බව සංඝදාස නිශ්ශංක මහතාගේ "වෙල්ලස්සේ දළදා රැක වරණය" නැමැති පොතේ 38 වන පිටුවේ සදහන්ය)

පැරණි නටඹුන්
මෙම විහාරස්ථාන‍ය අවට බොහෝ පුරාවිද්‍යාත්මක හා පැරණි ඉදි කිරිම් දක්නට ලැබේන අතර ඒ අතර, කුටි, බෝධිඝර, දාගැබ, පොහෝය ගෙය, බෝධි වෘක්ෂ 2 සහ මුරගල් හා ගල් කණු ප්‍රධානවේ.

මෙම විහාරස්ථාන භූමියේ එක් අන්තයකට වන්නට ඇති ගොඩනැගිල්ලකට පිවිසෙන ස්ථානයේ ඇති මුරගල ජෝඩු මුරගලකී. දෙමටමල් විහාරස්ථානය අවට නාෂ්ඨවශේෂ දෙස බැලීමේදි, මෙම ස්ථානය පංචාවාස සහිත විහාරස්ථානයක්ව පැවැති බව පෙනේ. එනම්, දාගැබ, පිළිම ගෙය, බෝධිඝරය සහ ධර්ම ශාලාව.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.06.09 දින දීය

මුරගලක්


මුරගලක්

විහාර ගේ

ගල් උළුවස්සක්

රජකුගේ යැයි විශ්වාස කල
හැකි පිළිමයක හිස කොටස

බෝධි වෘක්ෂයක්
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දින දී.

Tuesday 27 November 2012

Galtemmandiya Poorana Viharaya - Okkampitiya

ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරස්ථානය
 - ඔක්කම්පිටිය

චෛත්‍යය
ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ, මොණරාගල ද්ස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔක්කම්පිටියේය. ඔක්කම්පිටිය මං සන්දියේ සිට මාලිගාවිල දෙසට කිලෝමිටර් 1 1/2 පමණ ගොස් ඇල සමග වමට ඇති ගුරු පාර දිගේ කිලෝමීටර් 2 ක් පමණ ගිය විට මෙම ස්ථානයට ලගා විය හැක.

මෙම විහාරස්ථානය අවට ඇති විශාල ගල් කණු රාශියක් නිසා, අවට ගල්ටැම්මණ්ඩිය ලෙසට ප්‍රසිද්ධය.

සිරිපතුල් ගලක්
මෙහි පුරාණ අවධියක වන්දනාමාන කිරිම සදහා භාවිතයට ගැනුනු සිරිපතුල් ගල් කිහිපයක් තිබේ. එසේම විහාරස්ථානයේ පිළිම ගෙට පිවිසෙන පිය ගැට පෙල ආසන්නයේ ගිනි දැල් විහිදු වන ආකාරය නිරුපිත සදකඩ පහනකී. මෙම සදකඩ පහණ ඉතා දුර්ලභ ගණයේ සදකඩ පහණකී. වෙනත් සදකඩ පහන් මෙන් මෙහි කිසිදු සත්ව රූපයක් දක්නට නොලැබේ.

ගිනි දැල් විහිදු වන
 ආකාරය නිරුපිත
 සදකඩ පහන

ගිනි දැල් විහිදු වන
ආකාරය නිරුපිත
 සදකඩ පහන

ගල් භාජනයක්

ඡායාරූප ගන්නා ලද්දේ 2012.06.09 දින

විහාරස්ථානයේ වැඩ සිටි
ස්වාමින් වහන්සේ නමකගේ පිළිමයක්

චෛත්‍යය

බෝධිය

විහාරස්ථානයේ ඇති
තවත් සිරිපතුල් ගලක්

විහාරස්ථානයේ වැඩ සිටි
ස්වාමින් වහන්සේ නමකගේ
භෂ්මාවශේෂ තැම්පත් කර ඇති ස්ථානය

විශාලව වැඩි ගිය බෝධින්
වහන්සේ නමක්
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දින.

Buduruwagala Statue - Wellawaya

ලෝකයේ උසම බුදු පිළිමය වු බුදුරුවාගල පිළිමය
 - වැල්ලවාය

බුදුරුවා ගල පිහිටා තිබෙන්නේ ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. වැල්ලවාය සිට තණමල්විල මාර්ගයේ, වැල්ලවාය සිට කිලෝමීටර් 10 ක් පමණ ගිය විට හමු වන බුදුරුවාගල හංදියේ ඇති බුදුරුවාගල කෞතුකාගාරය ආසන්නයේ ඇති මාර්ගයේ (බුදුරුවාගල වැව මාර්ගයේ) ගිය විට බුදුරුවා ගල පිළිමය ආසන්නයට ප්‍රවිශ්ඨවිය හැක.

1925 දී පමණ ගන්නා
 ලද ඡායාරූපයක්
බුදුරුවා ගල පිළිමය 2012 දී
බුදුරුවාගල ඓතිහාසික ස්ථානය කැලයෙන් වැසි තිබි නැවත සොයා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ  සේවය කල ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසිනි. ඒ 1924/1925 කාලයේදීය. 1963 දී සෙනරත් පරණ විතාන මහතාද බුදුරුවාගල සොයා ගැනීමේ ගෞරවය ආර්. එල් බ්‍රෝහියර් මහතාට හිමි වන බව පවසා ඇත. 

ශ්‍රී ලංකාවේ උසින් වැඩිම හිටි පිළිම තුනකී. එයින් උසම බුදු පිළිමය, මෙම බුදුරුවාගල පිළිමයයි. එය උසින් අඩි 50 කී. අනෙක් දෙක පිලිවෙලින් අඩි 38 ක් හා අඩි 34 කී. ඒ අවුකන බුදු පිළිමය සහ මාළිගාවිල බුදු පිළිමයයි. අවුකන බුදු පිලිමයේ දක්නට ලැබෙන මුද්‍රාවම මෙම පිලිමයේත් දක්නට ලැබේ.


1925 දී පමණ ගන්නා
 ලද ඡායාරූපයක්






අවලෝකතිෂ්වර
හෙවත්
 නාථ දෙවියන්ගේ රුව

බුදු රුවට දකුණු
පසින් ඇති මුර්ති 3

බුදුරුවාගල බුදු පිලිමය නෙලා ඇත්තේ ස්වභාවිකව පිහිටි හස්තියෙකුගේ හැඩති ගල් පර්වතයකයි. මෙම බුදු පිලිමය දෙපස එක් පසෙක පිලිම තුන බැගින් තවත් පිළිම 6 කී. මෙම හස්ති හැඩැති ගල් පර්වතයේ නෙලා ඇති මුළු පිලිම ගණන 7කී. මෙම බුදු රුවට දකුණු පසින් ඇති මුර්ති 3න් මධ්‍යයේ ඇත්තේ අඩි 20 ක් පමණ උසැති දේව රූපයකී. එම මුර්තිය දෙපස දෙවගන මුර්ති දෙකකී. මෙම දේව රූපය අවලෝකතිෂ්වර වශයෙන් හදුන්වන නාථ දෙවියන්ගේ රුව යැයි විශ්වාස කෙරේ.

බුදු පිලිමයට වම් පසින් ඇති මුර්ති 3, මධ්‍යයේ ඇති  මුර්තිය අඩි 20 ක් පමණ උස වන අතර එය රාජ කුමාරයෙකුගේ බව පැවසෙන අතර, දෙපස ඇත්තේ බිසෝවරු දෙදෙනෙකුගේ රූප බව පැවසේ.

1925 දී පමණ ගන්නා
 ලද ඡායාරූපයක්

බුදු පිලිමයට වම් පසින්
ඇති මුර්ති 3


මෙම පිලිම වලට උඩින් පිළිම වලට සමාන්තරව ඇති හතරැස් කවුලු, මෙම පිලිම අව්වැසි ආදියෙන් ආරක්ෂා වීම සදහා සෙවන ලබා දුන් පියැස්සක් තිබුණේ යැයි දරණ සාක්ෂියයි.

මධ්‍යයේ ැති බුදු පිලිමයේත්, වම් පස ඇති රජ කුමාරයාගේ පිලිමයේත්, සුදු බදාම දැනුදු දෘෂ්‍යමානවීමෙන් පෙනී යන්නේ යම්, එක්තරා කාලයකදී මෙම පිළිම සියල්ලම සියුම් කැටයම් ආදිය බදාමයෙන් පිලියම් කොට වර්ණ ගන්වා තිබෙන්නට ඇත යන සාක්ෂියයි.

Sunday 25 November 2012

Maligawila Statue - Okkampitiya

මාළිගාවිල පිළිමය - ඔක්කම්පිටිය

මාළිගාවිල පිළිමය
ශ්‍රී ලංකාවේ ඇති හිටි පිළිම වලින් තුන්වන උසම පිළිමය, මෙම මාළිගාවිල පිළිමයයි. මාළිගාවිල පිළිමය පිහිටා ඇත්තේ, ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මාළිගාවිලය. ආසියාවේ ඇති ගලින් වෙන් කරන ලද විශාලතම පිළිමය මෙයයි.  මාළිගාවිල බුදු පිළිමයේ උස අඩි 37 යි අගල් 10 කී. එසේම ආධාරකයක් නොමැතිව සිටුවා ඇති පිළිම වලින් උසම පිළිමය වන්නේද මෙම මාලිගාවිල පිළිමයයි.

මාළිගාවිල පිළිමයට පිවිසෙන පියගැටපෙල පාමුල ඇත්තේ හතරැස් හැඩැති සත්ත්ව රූප සහිත හුණුගලින් නිර්මිත සදකඩ පහනකී. මෙහි තිබුනේ යැයි විශ්වාස කරන ගල් උළුවස්ස අඩි 42 ක් පමණ උසැති එකකි.


මාළිගාවිල පිළිමය
ක්‍රි:ව: 640 - 700 අතර කාලයේ රජකම් කල දප්පුල රජුගේ නාර්මාණයක් ලෙසට විශ්වාස කරනු ලැබේ. එසේම මෙම පිළිමය, පිළිම ගෙයක තිබුණු බවට සිතිය හැකි අතර, එය ගෙඩිගේ සාම්ප්‍රදායට තැනු පැරණිම පිළිම  ගෙය යැයි ද විශ්වාස කරනු ලැබේ.

මෙම පිළිමය නෙලා ඇත්තේ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන හුණු ගල් විශේෂයකිනි, මෙම පිළිමය 1951 දී පමණ නැවත සොයා ගන්නා අවස්ථාව වන විටත් බිම පතිතවී තිබු අතර 1974 දී නැවත ඉද්සීමට ගත් උත්සාහය ව්‍යයර්ථ වී නැවත කැබලි කිහිපයකට කැඩිනි. පසු ගිය වක වානුවේ නිදන් සොරුන්ගෙන් සහ කාලයාගේ විපර්යාසයන්ට ලක්වී බිමට වැටි කැබලි වලට කැඩි බිදි තිබු මෙම පිළිමය, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති වු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ උපදෙස් පරිදි අද පවතින ආකාරයට ප්‍රතිසංස්කරණය කර තිබේ. 

මාළිගාවිල පිළිමය
මාළිගාවිල, දඹේගොඩ බෝසත් පිළිමය ඇත්තේ ද මෙම පිළිමයේ සිට සැතපුම් 1/2 ක් දුරින් වන අතර මාළිගාවිල පිළිමය හා දඹේගොඩ බෝසත් පිළිමය වයඹ - ගිනිකොණ දිශානුගතව එකිනෙකට කැපී යන රේඛාවක පිහිටුවා ඇති බව පෙනේ.

එසේම වංශ කතා වල සදහන් වන "අරියකාර විහාරය" මාලිගාවිල බුදු පිළිමය අවට ප්‍රදේශය යැයි පුරාවිද්‍යඥයන් විශ්වාස කරන අතර, ක්‍රි:ව: 667 - 683 දී රජකම් කල අග්ගබෝධි රජු විසින් රුහුණේ අන්ධයන් හා ගිලනුන් උදෙසා රෝහලක් හා වෙහෙරක් කරවු බව සදහන්වේ. ඒ මෙම ස්ථානය බවටද විශ්වාසයක් පවතී.



ශිලාමය ස්ථම්භයක්

මුරගලක්, කොරවක් ගල,
නිල් ඊතලය - සෙල් ලිපියක්
රතු ඊතලය - වතුර පිරවිය හැකි ගල් භාජනයක්

සදකඩ පහණ

මුරගලක්

මාළිගාවිල පිළිමය 1950
 දශකයේ බිම වැටි
 තිබු අයුරු
මාලිගාවිල ව්‍යාපෘතිය 1991
උපුටා ගැනීම ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
ww.secsl.lk  වේබි අඩවිය
(උපුටා ගැනීම 2012.12.11 දින)


මාලිගාවිල ව්‍යාපෘතිය 1991
උපුටා ගැනීම ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
ww.secsl.lk  වේබි අඩවිය
(උපුටා ගැනීම 2012.12.11 දින)


මාලිගාවිල ව්‍යාපෘතිය 1991
උපුටා ගැනීම ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
ww.secsl.lk  වේබි අඩවිය
(උපුටා ගැනීම 2012.12.11 දින)





මෙහි ඇති ඡායාරූප 2011 සහ 2012 වර්ෂ වලදි ගන්නා ලද ඒවාය

Saturday 10 November 2012

Rev. Mirahawatte Jinarathna Thero

"ධර්ම කිර්ති ශ්‍රී සරණපාල සුමංගල", කර්මාචාර්ය,
ගරු මිරහාවත්තේ ශ්‍රී ජිනරතානාභිධාන,
ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක,
අතිගෞරව නායක හිමියන්ගේ චරිතය

"ධර්ම කිර්ති ශ්‍රී සරණපාල සුමංගල", කර්මාචාර්ය,
ගරු මිරහාවත්තේ ශ්‍රී ජිනරතානාභිධාන,
ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක,
අතිගෞරව නායක හිමිපානෝ
ගරු මිරහාවත්තේ ශ්‍රී ජිනරතන නායක ස්වාමින් වහන්සේ; බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මිරහාවත්ත නම් ගමේදී 1924 අගෝස්තු මස 13 වන දින උපත ලබා ඇත්තේ, මිරහාවත්ත නාරම්මුල්ලේ ගෙදර පදිංචිව සිටි ඩබ්ලිව්. එම්. පුංචිබණ්ඩා සහ එන්. එම්. උක්කුමැණිකේ යන දෙදෙනාගේ තුන්වන දරුවා ලෙසයි.

මිරහාවත්තේ මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසු කන්දේගෙදර දේවානන්ද ස්වාමින් වහන්සේගෙන් මුලීක අකුරු ශාස්ත්‍රය ඉගෙන ගත් ඩබිලිව්. එම්. විජේරත්න නම් මෙම කුඩා දරුවා; කන්දේගෙදර දේවානන්ද ස්වාමින් වහන්සේ සමග හීල්ඔය ශ්‍රී සුමංගල පුරාණ විහාරස්ථානයට පැමිණ, එවකට විහාරාධිපතිව වැඩ විසු ගරු හීල්ඔය සුමංගල ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ, 1939 ජුනි මස 01 දින මිරහාවත්තේ ජිනරතන හිමියන් වශයෙන් උතුම්වු පැවිදි බව ලැබීය.

ඉන් පසු මිරහාවත්තේ ජිනරතන සාමනේරයන් වහන්සේ දියතලාවේ ශ්‍රී සුධර්මාලංකාර පිරිවෙනින් අධ්‍යපනය ලැබීය.


1944 ජුනි 02 දින මහනුවර පුෂ්පාරාම විහාරස්ථානයේ උපෝසතාගාරයේදී උපසම්පදාව ලැබීය. ඉන් පසු ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ දියතලාවේ ශ්‍රී සුධර්මාලංකාර පිරිවෙනෙහි රාජකීය පණ්ඩිත උපාධිය 11 වසර සමත්ව එහිම ටික කලක් සේවය කලේය. ඒ කාල වකවානුවේදී ගරු හීල්ඔය සුමංගල ස්වාමින් වහන්සේගේ රෝගාබාදයන් හේතුවෙන් ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ දියතලාවේ ශ්‍රී සුධර්මාලංකාර පිරිවෙනෙහි ධර්මාචාර්ය පදවියට සමුදී හීල්ඔය පුරාණ විහාරස්ථානයේ දායක දායිකාවන් වෙනුවෙන් සේවය සදහා කැපවිය.


හීල්ඔය සුමංගල ස්වාමින් වහන්සේගේන් පසුව ඇත්තලගෙදර ගුණරතන ස්වාමින් වහන්සේ හීල්ඔය පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වු අතර එම හිමියන්ගේ (ඇත්තල ගෙදර ගුණරතන ස්වාමින් වහන්සේගේ) අපවත් වීමෙන් පසු 1970 වර්ෂයේදී ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ හීල්ඔය පුරාණ විහාරස්ථානයේ නායක පදවියට පත්විය.

ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ,
* 1986 වර්ෂයේදී බදුලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක  පදවියට පත් කරනු ලැබුහ.

* 1991 වර්ෂයේදී කර්මාචාර්ය පදවියට පත් කරනු ලැබුහ.

* 2002 වර්ෂයේදී "ධර්ම කිර්ති ශ්‍රී සරණපාල සුමංගල" යන ගෞරව නාමය සමග ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප සංඝ නායක පදවිය ලැබුහ.

* 2004 වර්ෂයේදී "ධර්ම කිර්ති ශ්‍රී සරණපාල සුමංගල" යන ගෞරව නාමය සහිතව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය ලැබුහ.

(මෙම පදවියන් සියල්ලම මහා විහාර වාංශික ශ්‍යමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත්ය.)

ගරු මිරහාවත්තේ ජිනරතන ස්වාමින් වහන්සේ 2011 සැප්තැම්බර් මස 15 දින හවස් භාගයේ සුළු අසනීපයකින් අපවත් වුයේ අවුරුදු 87 ක් ආයු වලදායි.